ලන්ඩන් සටහන්
පූජ්‍ය පාද බම්බලපිටියේ ඥානාලෝක හිමියන්ගේ දම් දෙසුම් මාලාවක් මේ මස 28 වැනිදා සිට නොවැම්බර් 12 වැනිදා දක්වා එංගලන්තය පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඥානාලෝක හිමියෝ එංගලන්තයට වැඩම කරන්නේ යුරෝපයේ කරන ලද සංචාරයකින් පසුවය. උන්වහන්සේ මේ දිනවල ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ ඉතාලිය යන යුරෝපා රටවල දම් දෙසුමින් වැඩම කරමින් සිටිති. එංගලන්තයේ සංචාරයෙන් පසුව උන්වහන්සේ ඇමරිකාව සහ කැනඩාව යන රටවල ධර්ම ප්රචාරක කටයුතු සඳහා වැඩම කිරීමට නියමිතව තිබේ.
එංගලන්ත සංචාරයේදී ඥානාලෝක හිමියන්ගේ ධර්ම දේශනා, භාවනා සහ ශීල ව්‍යාපාර පවත්වනු ලබන්නේ ලන්ඩන් බෞද්ධ විහාරය, බර්මින්හැම් නුවර ඡේතවන විහාරය, සෙල්ස්ඩන්හි තේම්ස් බෞද්ධ විහාරය, නොටින්හැම්හි ශාන්ති විහාරය, ලන්ඩනයේ ශ්‍රී සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානය, හැන්වර්ත්හි අතුලදස්සන විහාරය, ලිවර්පූල්හි ශ්‍රී සම්බුද්ධ විහාරය, ස්ට්රවුඩ්හි ඉම්පීරියල් හෝටලය, ඒල්ස්බරිහි වේල් මල්ටිකල්චරල් මධ්‍යස්ථානය සහ ස්ටෝක් ඔන් ට්රනේට්හි වෙස්ටර්න් කෝනී ග්‍රාමීය ශාලාව යන ස්ථානයන්හිදීය.
ඥානාලෝක හිමියෝ එංගලන්තයට සහ යුරෝපයට වැඩම කරන්නේ ලන්ඩනයේ ලක්ෂ්මන් ගාල්ලගේ සහ පැරිසියේ තුසිත රාජපක්ෂ යන මහත්වරුන්ගේ ආරාධන පිළිගෙනය.
1971 වසරේ ශ්‍රී ලංකාවේ උපත ලද ඥානාලෝක හිමියෝ වයස අවුරුදු 14 සිට තම තරුණ අවධිය ගත කළේ තම දෙමාපියන් සමඟ දකුණු අප්‍රිකාවේ ලෙසතෝ රාජ්‍යයේය. ඉන්පසු සයිප්‍රස් රාජ්‍යයේ නිකෝසියා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී ලංකාවට පැමිණ ගිහියකු වශයෙන් බණ, භාවනාවෙහි යෙදෙමින් සිට වයස අවුරුදු 28 දී උන්වහන්සේ මහණ වූහ. මහණවීමෙන් පසු උන්වහන්සේ වැඩි කාලයක් තම ජීවිතය ගත කළේ හිමාලයේ සහ නේපාලයේ කඳු මුදුන් සහ වන ලැහැබයන්හි භාවනානුයෝගීවය. උන්වහන්සේ කැලයෙන් බැහැරව මහජනයා අතරට පැමිණ දහම් දෙසීමට පටන් ගත්තේ වසර 2012 දීය. ප්‍රථම වතාවට මේ වසරේ අප්‍රියෙල් මාසයේ ඕස්ටේ්රලියාවට වැඩම කරමින් දහම්, සීල, භාවනා වැඩසටහන් මාලාවක් පැවැත්වූ උන්වහන්සේ ලෝකයේ අනෙකුත් රටවලටද වැඩම කරමින් දහම් වැඩසටහන් පැවත්වීම බොහෝ දෙනාගේ සතුටට හේතුවී තිබේ.
http://divaina.com/sunday/index.php/puwath-2/669-2017-10-26-08-26-27
පළකරන ලද්දේ: November 05 2017