අතිපූජනීය බම්බලපිටියේ ඥාණාලෝක හිමියන් විසින් මෙහෙයවනු ලබන, සද්ධර්මධාරා භාවනා වැඩසටහන්, භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ඉගැන්වීම් මත පිහිටමින් ඒ පිළිබඳ ස්වයං-මාර්ගෝපදේශනාත්මක ගවේෂණක් කරා ඔබව යොමු කරයි. අතිපූජනීය ඤාණවිමල මහතෙරුන් වහන්සේ විසින් සකස් කරන ලද සුවිශේෂිත වූ රාමුවක් තුළ ගොඩනැගුණු මෙම වැඩසටහන්, එක් නිශ්චිත වූ ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම මත හෝ ක්‍රමෝපායන් පමණක් මත නොරඳා, බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සූත්‍ර දේශනාවන් හා සමඟ සෘජුව සම්බන්ධ වීමට ඔබට මග පාදයි.

මෙහිදී හුදෙක් බුද්ධිමය අධ්‍යයනයකට වඩා, යෝගීන්ට සූත්‍රවල අර්ථය සෘජුවම අත්විඳීමට දිරිමත් කරනු ලැබේ. මනස සැහැල්ලුවෙන් තිබෙන විට සහ අපේක්ෂාවන්ගෙන් නිදහස් වූ විට, සූත්‍රවල අන්තර්ගත බුදුන් වහන්සේගේ එක් වදනක් හෝ කෙටි ඉගැන්වීමක් ගැඹුරින් මෙනෙහි කිරීමේදි අවබෝධය නිරායාසයෙන් ඇතිවීමට පුළුවන් අවකාශය මෙම වැඩසටහන තුළදී ගොඩ නැගෙනු ඇත.

සද්ධර්මධාරා භාවනා වැඩසටහන් සඳහා යොදා ගන්නා විශේෂ ග්‍රන්ථ වනුයේ – අති පූජ්‍ය ඥානාතිලෝක මහතෙරුන් වහන්සේ විසින් රචිත, බුද්ධ වචනය, සරල සිංහලට පරිවර්තනය කෙරුණු මජ්ඣිම නිකායෙහි සහ සංයුත්ත නිකායෙහි තෝරාගත් සූත්‍ර යි. වැඩසටහනේදී භාවනායෝගීන්ට සතර සතිපට්ඨානයෙහි එන ධම්මානුපස්සනාව වැඩීමට විශේෂයෙන් පිටිවහලක් සලසයි.

මීට අමතරව කායානුපස්සනාවට අයත් වන, ආනාපානසතිය මෙන්ම මෛත්‍රිය වැනි භාවනා ක්‍රමද පුහුණුවීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. මෙනිසා ඔබට බාහිර මෙන්ම අභ්‍යන්තර නිශ්චලතාව වර්ධනය කිරීම සඳහාද ඒ ඔස්සේ ගැඹුරු අවබෝධයක් කරා යාමට ද මෙම භාවනාවන් සහාය වෙනු ඇත. ඕනෑම අයෙකුට මෙම වැඩසටහන් සඳහා සහභාගි වීමට ඉල්ලුම් කිරීමට පුළුවන් අතර මෙම භාවනා වැඩසටහන මගින්, සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වදන්වල රැකවරණය ඔබ වෙත ලඟාකර ගැනීමට ද – සීල, සමාධි, පඤ්ඤා මාර්ගය ගැඹුරුන් වර්ධනය කිරීමට ද ඉඩප්‍රස්ථාව සැපයෙයි.

පූජ්‍ය ඤාණවිමල මහතෙරුන් වහන්සේ අති උත්තම වූ සංකල්පනාව පරිදි, මෙහි අවසන් අභිප්‍රාය වනුයේ, හුදෙක් භාවනාමය අවබෝධය වර්ධනය කිරීම පමණක් නොව, ආර්‍ය මාර්ගය සඳහා පාරමී පුරනා සුදුසු යෝගීන්ට පැවිද්ද සඳහා අවශ්‍ය පසුබිම සැකසීමයි. අවසන සමහරකට උතුම් චාරිකා භික්ෂුවකගේ ජීවිතය පවා වැළඳ ගැනීමට මෙමගින් මඟ පෑදෙනු ඇත.