පූජ්‍ය ඤාණවිමල ස්වාමින්වහන්සේගේ ආචාර්යවරයා මෙන්ම පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ වූ සේක.

ගිහි ජීවිතය සහ පැවිදි බිමට පිවිසීම

අතිපූජ්‍ය ඤාණතිලෝක මහාථෙර (1878–1957) යනු ථෙරවාද භික්ෂුවක් ලෙස බුද්ධාගම වැළඳගත් මුල්ම බටහිර ජාතිකයන්ගෙන් කෙනෙකි. 1878 පෙබරවාරි 19 වන දින ජර්මනියේ වයිස්බඩන් (Wiesbaden) හි උපත ලැබූ ඇන්ටන් වෝල්තර් ෆ්ලෝරස් ගුත් (Anton Walther Florus Gueth), කුඩා කල සිටම අධ්‍යාත්මික හා දාර්ශනික ගවේෂණය කෙරෙහි දැඩි ලෙස නැඹුරු විය. ජර්මනියේ සහ ප්‍රංශයේ සංගීතය පිළිබඳ අධ්‍යාපනය ලැබූ ඔහු මුලින් සංගීතඥයෙකු වීමට ආශා කළ නමුත් තියෝසොෆිස්ට්වරයෙකුගේ (පරමවිඥානාර්ථ සමිතියේ සාමාජිකයකුගේ) දේශනයකට සහභාගී වීමෙන් පසු බුද්ධාගමට ඇදී ගියේය.

1902 දී, පැවිදි වීමට අධිෂ්ඨාන කරගෙන, උන්වහන්සේ ශ්‍රී ලංකාවට සහ බුරුමයට ගිය අතර, එහිදී ඔහුට පළමු බටහිර බෞද්ධ භික්ෂූන්ගෙන් කෙනෙකු වන ආනන්ද මෙත්තෙයිය හිමි හමුවිය. 1903 දී, ඔහු බුරුමයේ න්ගා හ්තාත් කී චෛත්‍යයේ දී සාමනේර භික්ෂුවක් ලෙස පැවිදි කරන ලද අතර පසුව 1904 දී පූජ්‍ය යූ. කුමාර මහාථෙරගේ අනුශාසකත්වය යටතේ පූර්ණ උපසම්පදාව ලැබීය. උන්වහන්සේට “ප්‍රඥාවේ දැක්ම ඇති තැනැත්තා” යන අර්ථය ඇති ඤාණතිලෝක යන පැවිදි නාමය ලබා දෙන ලදී.

පූජ්‍ය ඤාණතිලෝක මහතෙර (1878-1957)
පූජ්‍ය සිලාකර හිමි. ධම්මානුසාරි හිමි සහ පූජ්‍ය. ඤාණතිලෝක හිමි, 1907 (රැන්ගුන්, බුරුමය)
මාඕං මාඕං හ්වින්, යූ ක්යාව් හ්ලා; පූජ්‍ය ගෝවින්ද, පූජ්‍ය ඤාණතිලෝක, පූජ්‍ය ආදිනවෛස යන හිමිවරු 1929 (මැන්ඩලේ, බුරුමය)

අභියෝග සහ නොපසුබට උත්සාහය

පළමු සහ දෙවන ලෝක යුද්ධ සමයේදී ඤාණතිලෝක හිමියන්ට සැලකිය යුතු දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය. මන්ද ඔහු සහ අනෙකුත් ජර්මනියේ උපන් භික්ෂූන් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ සතුරන් ලෙස සලකනු ලැබූ බැවිනි. පළමු ලෝක යුද්ධ සමයේ උන්වහන්සේව මුලින්ම ශ්‍රී ලංකාවේ දියතලාව කඳවුරේ සිරගත කරන ලද අතර පසුව ඕස්ට්‍රේලියාවට පිටුවහල් කරන ලදී. යුද්ධයෙන් පසු, ඔහු ජර්මනියට නැවත ගෙන යන ලද නමුත් පසුව 1926 දී ශ්‍රී ලංකාවට ආපසු යෑමට හැකි විය.

දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟ, උන්වහන්සේ නැවතත් ඉන්දියාවේ ඩෙහ්රාඩුන් හි උන්වහන්සේගේ පැවිදි ගෝලයන් කිහිප දෙනෙකු සමඟ සිරගත කරන ලදී. මෙම බාධක නොතකා, උන්වහන්සේ ධර්මය ප්‍රචාරය කිරීමට, පරිවර්තන කටයුතු දිගටම කරගෙන යාමට සහ උන්වහන්සේගේ සිසුන්ට සහාය වීමට කැපවී සිටියේය. මේ සමයේ ජර්මන් ජාතික ගිහි මහතෙකු උන්වහන්සේගේ නවක ගෝලයකු බවට පත් විය, පසුකාලීනව ඥානවිමල මහතෙර නමින් මෙතුමා ප්‍රසිද්ධ විය විය.

නායකත්වය සහ දායකත්වයන්

පූජ්‍ය ඤාණතිලෝක හිමියන් තම පැවිදි ජීවිතයෙන් වැඩි කොටසක් පාලි ශාස්ත්‍රය හා මුල් පෙළ දහම පරිවර්තනය සඳහා කැප කළ අතර, එමඟින් නිවැරදි ථෙරවාද බුද්ධාගම බටහිර ශ්‍රාවකයින්ට ගලා යෑමට පටන් ගත්තේය. උන්වහන්සේගේ ප්‍රධානම කෘති ලෙස සැලකෙන්නේ:

  • බුද්ධ වචනය (The Word of the Buddha) – චතුරාර්ය සත්‍යයන් මත පදනම් වූ ධර්මය පිළිබඳ ව්‍යුහගත ඉදිරිපත් කිරීමකි.
  • බුදුන්ගේ විමුක්ති මාර්ගය (Buddha’s Path to Deliverance) – සූත්‍ර පිටකයේ ක්‍රමානුකූල පැහැදිලි කිරීමකකි.
  • බෞද්ධ ශබ්දකෝෂය (Buddhist Dictionary) – ප්‍රධාන බෞද්ධ පද සහ සංකල්ප සඳහා පුළුල් මාර්ගෝපදේශයකි.
  • අභිධර්ම පිටකයට මඟ පෙන්වීම (Guide through the Abhidhamma-Pitaka) – ථෙරවාද අභිධර්මය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමකි.

උන්වහන්සේගේ ලේඛන සහ පරිවර්තන අනාගත බටහිර බෞද්ධ විද්වතුන් සහ ලේඛකයන් බිහිකිරීමට අඩිතාලම දැමීය.

පූජ්‍ය ඤාණතිලෝක මහාථෙර, 1936 (ශ්‍රී ලංකාව)

කැපී පෙනෙන ශිෂ්‍යයින්

1911 දී, පූජ්‍ය ඤාණතිලෝක මහ තෙරුන් වහන්සේ ශ්‍රී ලංකාවේ දොඩන්දූව කලපුවේ හුදකලා දූපතක් වන පොල්ගස්දූවෙහි ආරණ්‍යයක් ස්ථාපිත කළහ. මෙම ආරාමය පිරිසිදු ලෙස ථෙරවාද බුද්ධාගම අධ්‍යයනය කිරීමට සහ ප්‍රගුණ කිරීමට උත්සාහ කරන බටහිර භික්ෂූන් සඳහා ක්ෂේම භූමියක් බවට පත්විය.

එය දශක ගණනාවක් පුරාවට, ධර්මයට කැපූ වූ සුවිශේෂී පිරිසක් ආකර්ෂණය කර ගත්තේය; බෞද්ධ ප්‍රකාශන සංගමයේ නිර්මාතෘ සහ “The Heart of Buddhist Meditation” හි, කතුවරයා වන ඤාණපෝණික හිමි, “විශුද්ධි මාර්ග” (The Path of Purification) සහ “මජ්ඣිම නිකාය” (The Middle Length Discourses) ඉංග්‍රීසියට පරිවර්තනය කළ කීර්තිමත් පරිවර්තකයෙකු වන ඤාණමෝලි හිමි, “Notes on Dhamma” හි කතුවරයා වූ සහ දාර්ශනිකයෙකු වූ ඤාණවිර හිමි, සහ තවත් බොහෝ අය මේ අතර විය.

උන්වහන්සේගේ අවසාන ශිෂ්‍යයාවූ, ෆ්‍රෙඩ්රික් මෝලර්, පසුව ඤාණවිමල මහාථෙර ලෙස හැඳින්වුන අතර, 1955 දී පැවිදි ව, ඉතා සුවිශේෂි චාරිකා භික්ෂුවක් බවට පත් විය. මෙම ශිෂ්‍යයින් හරහා, ඤාණතිලෝක හිමියන්ගේ ශාස්ත්‍රීය දායකත්වය සහ බටහිර ජාතිකයන් අතර ථෙරවාද බුද්ධාගමේ පුනර්ජීවනය සඳහා වූ කැපවීම ලොව පුරා නූතන බෞද්ධ චින්තනයට සහ භාවිතයට බලපෑම් කළේය.

පූජ්‍ය ඤාණමෝලි, පූජ්‍ය ඤාණතිලෝක, හා පූජ්‍ය ඤාණපෝනික හිමිවරු, 1937
පූජ්‍ය ඤාණතිලෝක සහ සාමනේර ඤාණවිමල හිමිවරු පොල්ගස්දූව ආශ්‍රමයේදී 1955
පූජ්‍යඤාණවිර, පූජ්‍ය ඤාණමෝලි සහ පූජ්‍ය ඤාණවිමල හිමිවරු පොල්ගස්දූව ආශ්‍රමයේදී, 1950/1960 පමණ
පූජ්‍ය ඤාණලෝක, පූජ්‍ය ඤාණතිලෝක, සහ පූජ්‍ය ඤාණපෝනික හිමිවරු, 1952 (පොල්ගස්දූව ආශ්‍රමය, ශ්‍රී ලංකාව)
පූජ්‍ය පියදස්සි හිමි, පූජ්‍ය ඤාණතිලෝක, සහ පූජ්‍ය ඤාණපෝනික හිමිවරු, 1956 (උඩවත්තකැලේ, මහනුවර)

පිළිගැනීම සහ උරුමය

උන්වහන්සේගේ අවසාන කාලයේදී, සෞඛ්‍ය හේතූන් මත ඤාණතිලෝක හිමියන් තම සමීප ගෝලයෙකු වන ඤාණපෝනික හිමියන් සමඟ මහනුවර වනගත ආරණ්‍යයකට සංක්‍රමණය විය. 1954 දී, උන්වහන්සේ සහ ඤාණපෝනික හිමියන් බුරුමයේ පැවති හයවන බෞද්ධ සංගායනාවට (ඡට්ඨ සංගායනාව) සහභාගී වීමට ආරාධනා ලද එකම බටහිර භික්ෂූන් වහන්සේලා දෙදෙනා වූ අතර, එය නූතන ථෙරවාද බුද්ධාගමේ ප්‍රමුඛ චරිතයක් ලෙස උන්වහන්සේගේ පිළිගැනීම සනිටුහන් කළේය.

ඤාණතිලෝක හිමියන් 1957 මැයි 28 වන දින ශ්‍රී ලංකාවේ, කොළඹදී අපවත් විය. උන්වහන්සේගේ අවමංගල්‍යයට එවකට ශ්‍රී ලංකාවේ අගමැති ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහභාගී වූ අතර, උන්වහන්සේ බුද්ධාගමට කළ අතිමහත් දායකත්වය අගයමින් ගුණ වර්ණනා කළහ.

ඤාණතිලෝක මහ තෙරුන් වහන්සේ පළමු යුරෝපීය ථෙරවාද බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් කෙනෙකු පමණක් නොව, බුද්ධ ධර්මය ලොව පුරා ව්‍යාප්ත වීමට මූලික වූ සුවිශේෂී චරිතයක් ද විය. උන්වහන්සේගේ ශාස්ත්‍රීය දායකත්වයන්, පැවිදි පුහුණුව පූජ්‍ය ඤාණවිමල මහාථෙර සහ පූජ්‍ය බම්බලපිටියේ ඥානාලෝක හිමියන් වැනි ශ්‍රේෂ්ඨ භික්ෂූන් වහන්සේලා කෙරෙහි සෘජු බලපෑමක් ඇති කලා පමණක් නොව, අදටත් ලොව පුරා වසන ජනතාවට බුදු දහම අධ්‍යයනය කිරීමට අවශ්‍ය අවකාශය උන්වහන්සේ විසින් සකසන ලදී.

1954 ඡට්ඨ සංගායනාවෙහි සමාරම්භක දින, ඤාණපෝණික හිමිපාණන් විසින් ඤාණතිලෝක හිමිපාණන්ගේ දේශනය කියවමින්. (රැන්ගුන්, බුරුමය)
පූජ්‍ය ඤාණතිලෝක මහතෙර (1878–1957)
පූජ්‍ය ඤාණතිලෝක මහතෙර හිමියන්ගේ ආදාහනය, 1957 ජුනි 2 (ශ්‍රී ලංකාව)
පූජ්‍ය ඤාණතිලෝක මහ තෙරුන් වහන්සේගේ අනුස්මරණ සොහොන් කොත (පොල්ගස්දූව ආරණ්‍ය, ශ්‍රී ලංකාව)

Read the full biography of Ven. Nyanatiloka, translated and compiled by Bhikkhu Nyanatusita and Hellmuth Hecker, freely available on the Buddhist Publication Society website.